14/07/2026
බොන්සායි ශිපියෙකු වීමට සිහින දකින්නකුට පමණි....
ලාංකීය බොන්සායි කලාවේ සැබෑ පිබිදීමක් සිදුවූයේ මීට දසක එකහමාරකට පමන ඉහතදීය.ඒ බොන්සායි කලාව අදුරේ අතපතගා උකහාගත් දැනුමින් කලාවට යම් සේවාවක් සිදුකල සීමිත ශිල්පීන් පිරිසක් නිසාය.අද දකින්නට ලැබෙන මහපොලොවේ සැබෑ බොන්සායි ශිල්පීන් ඒ පන්නරයෙන් උපනුන් ය.මේ අතලොස්ස අතරින් එකකු වන්නට සිහින දකින්නකුනම් මේ පෝස්ට් එක ඔයාට.
බොන්සායි කලාකරුවෙක් සෑම විටම සිය දරුවෙකුට මෙන් තම නිර්මාණයට ආදරය කරයි. සිය නිර්මාණ සමග ගත කරන කාලය දෛනික ආහාරය තරම්ම අත්යවශ්ය කාරණාවක් වන අතර, සිය ස්වාමියාගේ ආදර සැලකිලිවල ස්වභාවය මත බොන්සායි ගසක හැසිරීම ද සෘජුවම වෙනස් වේ. සමහරුන් ගෘහස්ථ (Indoor bonsai) බොන්සායි නමින් මිත්යාවක් පැතිරුවද ජපානයේ සාම්ප්රදායික බොන්සායි කලාව තුළ එවැන්නක් නොමැත. බොන්සායි යනු එළිමහනේ බඳුන් තුළ ශාක වගා කිරීමේ කලාවකි. තම අවශ්යතාව මත ගෘහස්ථව තබා ගැනීමට හුරු කළද, ඒවාට දවසේ යම් කාලයක් එළිමහන අත්යවශ්ය වේ. නමුත් නිවර්තන හෝ උප නිවර්තන ශාක විශේෂ සමහරක් නොනැසී ගෘහස්ථව වර්ධනය වන අතර, ඒවාට වුවද හිරු එළිය අත්යවශ්ය වේ. සියලු නිර්මාණ සඳහා අවශ්යතා සැපිරිය යුතු අතර, ඒ සඳහා නිර්මාණකරුගේ කාලසටහනක් නිර්මාණය කර ගැනීම අනුචිත වන අතර ශාකවල අවශ්යතාවන්ට අනුව එය සකසා ගත යුතුවේ. ඒ සඳහා වසරේ සෘතු වල හැසිරීම සහ ශාකයේ ස්වභාවය, වර්ගය සහ හැසිරීම පදනම් කරගෙන ඒ ඒ නිර්මාණ සඳහා කාල රාමු සකසා ගත යුතුය.
වසර ගණනක අත්හදා බැලීම්, තොරතුරු එක්රැස් කිරීම, නිර්මාණ ආශ්රය, වගාව, පරිසරයේ හැසිරීම, ශාක නිරීක්ෂණය, බඳුන්ගත කිරීම, නඩත්තුව හා රැකවරණය සමග මෝස්තර කරණය, වයර් කිරීම, ජලය හා ආහාර සැපයීම, නැවත සිටුවීම, කප්පාදුව තුළින් ලබාගන්නා අත්දැකීම් සමුදායක එකතුවකින් බොන්සායි සෙන්සේවරයකු බිහිවේ. එය එක් රැයකින් හෝ දේශනයකින් හෝ පන්ති කාමරයකින් සිදු කර ගත හැකි දෙයක් නොවන අතර, මුහුකුරා යෑම තුළම සිදුවන්නකි. සාම්ප්රදායික ජපන් බොන්සායි කලාවට අනුව ආධුනික පුහුණුවට වසර 6 ත් 10 ත් අතර කාලයක් ගතවේ. නමුත් ලංකාවේ නම් එක රැයින් මාස්ටර්ලා බිහිවන පන්ති හා දේශන පවත්වන ආකාරයක් පෙනේ. ලාංකීය බොන්සායි කලාවේ පසුබෑමට එය ප්රධානම කාරණයක් වී ඇත.
"ඔබට කොතරම් ආදරය හා ආශාව ඇතත්, ඔබ මූලික කරුණු නොදන්නේ නම් ඔබ බොන්සායි ගසක් රැකබලා ගැනීමට හෝ සුදුසු නොවේ" - මෙම කියමන ජපන් බොන්සායි සෙන්සේ "කොබයාෂි" ගේ වන අතර එය ලාංකීය බොන්සායි කලාවටද එසේම වලංගුවේ.
බොන්සායි ශිල්පියෙකුට සිය නිර්මාණවල හැසිරීම අනුව යම් යම් නිගමනවලට පිවිසීමේ හැකියාව ඇත. එය අත්දැකීමෙන් ලැබෙන අද්විතීය හැකියාවකි. පරිසර වෙනස්වීම්වලට බොන්සායි ගස් පුදුමාකාර සංවේදීතාවයක් දක්වන අතර, සැබෑ බොන්සායි ශිල්පියා තුළ ඉන් එහාගිය සංවේදීතාවක් සිය නිර්මාණය පිළිබඳව ඇතිවේ. එබැවින් පරිසරයේ ඇතිවන වෙනස්වීම් ඔහු අන් අයට කලින් දකී. එය වෘක්ෂ පිළිබඳ අභ්යන්තර කියවීමකි.
සැබෑ බොන්සායි නිර්මාණකරුවකුගේ ඉලක්කය විය යුත්තේ "මිනිසෙකු කිසි විටකත් ස්පර්ශ නොකළාක් මෙන් ගස තුළ ස්වාභාවික පෙනුම නිර්මාණය කිරීම"යි. එහි සමස්ත පෙනුම වනගත රූස්ස වෘක්ෂයකට සාපේක්ෂව අනුපාතිකව සමාන කළ යුතුය.
බොන්සායි නිර්මාණයක දී කප්පාදුව ඉතා වැදගත් තැනක් ගන්නා අතර, ඒ සඳහා නිර්මාණකරුගේ අතෙහි හුරුව අනිවාර්යයෙන්ම බලපෑමක් ඇති කරයි. ඇතැමුන් බාබර් කෙනෙකු කොණ්ඩය සකසන ආකාරයෙන් ගසෙහි මුදුනත හැඩ කොට බොන්සායි කියමින් වෙළඳාමේ යෙදෙන ආකාරයක් ලංකාවේ සුලබව දුටිමි. එය ඔවුන්ගේ නොදැනුවත්කම හෝ ඉවසිල්ල නොමැතිකම ලෙස මා දකිමි. නමුත් ඒ තුළින් ඔහු තුළ උපදින්නට යන බොන්සායි ශිල්පියා මිය ගොස් වෙළෙන්දෙක් ඉස්මතුවන බව ඔවුන් නොදැන සිටීම ශෝකජනක කරුණක් වෙයි. සෑම විටම අතු ඉවත් කර කප්පාදු කිරීමට පෙර ගස දෙපසින් සෘජුව මොහොතක් බලා සිට, අවශ්ය ඉලක්කය මනසේ චිත්රණය කරගත යුතුය.
අතු කප්පාදුවේ දී සෑම විටම 'බොකු කතුරු' (concave cutters) භාවිතය තුළින් කඳට සිදුවන හානිය අවම කරගත හැකිය. එමෙන්ම බොහෝවිට එම තුවාලය සුව වී කැලලක් ඉතිරි නොකරයි. සාමාන්ය කතුරු වලින් සිදුවන කැපුම් අස්වාභාවික කැලලක් ඉතිරි කරයි.
බොන්සායි කලාකරුවෙකුට කම්බි යනු චිත්ර ශිල්පියකුට පින්සලක් බඳුය. ශාක වර්ධනයට මෙන්ම අවශ්ය තැන පිහිටුවීම කම්බි කිරීම මගින් සිදු කරයි. ශාක කුලවලට අනුව කම්බියක් මාසයක සිට අවුරුද්දක කාලයක් දක්වා, අවශ්ය හැඩය ලැබෙන තෙක් ඉවත් කිරීම නොකළ යුතුවේ. ඒ සඳහා නිරීක්ෂණ ඇසක් සේම සංවේදී අතක් ද අවශ්ය වේ.
ශාක නිරෝගීව තබා ගැනීම සඳහා ඒ ඒ ශාක විශේෂවලට අනුව වසරක් හෝ දෙවසරකට වරක් නැවත සිටුවීම කළ යුතුවේ. එවිට මුල්වලින් යම් ප්රමාණයක් කපා දැමිය යුතු අතර එමගින් නව මුල් ජනනය වීම සිදුවේ. ඒ තුළින් ශාකයේ නිරන්තර වර්ධනය සේම නිරෝගීතාව ද ඇතිවේ. ඒ ඒ ශාක කුල අනුව මේ මුල් වර්ධනය තුළ එක් එක් ශාක විවිධාකාර සුබදායී හැසිරීම් දක්වන අතර, අත්දැකීම් බහුල බොන්සායි ශිල්පියෙකුට ඒ හැසිරීම් නිර්මාණකරණයට හරවත්ව යොදාගත හැකිය. සූක්ෂම නිරීක්ෂකයෙකුට මේ පාර්ශ්වීය මූල සෑදීම අවබෝධ කරගත හැක.
කෙසේ වෙතත් කලාවක් ලෙස බොන්සායි සියවස් ගණනාවක් පැවතුණි. එහි මූලාරම්භය ආසියානු සංස්කෘතිය තුළ මුල් බැස ඇති අතර, වර්තමානය වනවිට ගෙවතු අලංකරණයට, නිවාස අලංකරණයට, වාස්තු සුබපල පිණිස, සුඛෝපභෝගී තෑගි ලෙස, මිත්යා විශ්වාස ලෙස, වෙළඳ භාණ්ඩ ලෙස, වංචා උගුල් ලෙස පමණක් නොව විවේකය සහ භාවනාව මත මානව සන්සුන් කරණයක් ලෙසද භාවිතාවේ.
බොන්සායි කරණයට ඉවසීම අත්යවශ්ය අංගයක් වේ. එය පරිපූර්ණත්වයේ කලාවක් නොවන අතර, කලාකරුවාගේ පෞද්ගලිකත්වය හා මනාපය අනුව පරිපූර්ණත්වය තීරණය කරන කලාවක් වේ. ඔබ බොන්සායිවරයෙකු වීමට සිහින මවන්නෙකු නම් ඉහත සුදුසුකම් සපුරා ගනිමින් ස්වයං විචාරකයෙකු වන්න. තමන්ට අභියෝග කරනවා මිස අනුන් මත අභියෝග නොතබන්න. අනුගමනය මිස අනුකරණය තුළ කලාවක් නොමැති අතර ඉවසීම පෙරගමන් කරුවෙකි...
සියලුදෙනාට ජයග්රාහී හෙටක්!
© 2015 ඩෙස්මන් සී හේරත්. සියලු හිමිකම් ඇවිරිණි.
゚viralシ