22/08/2026
"ඔයා ආදරෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ මිලේනා?"
"සදාකාලික සතුට? නැත්තම් ජීවිතේ හුදෙකලා නොවෙන එකද? සමහරවිට ජීවිතේ අතින් අල්ලගෙන යන්න ප්රේමනීය සගයෙක්වද? මහන්සි දවසක කෙලවර රස්නෙ කැමොමිල් තේ කෝප්පයක් ලැබෙන එක? උණ ගැනුනම නිදාගන්න ඔඩොක්කුවක් ලැබෙන එක? ඇත්තටම මොකක්ද මිලේනා?"
මම දුන් හැම පිලිතුරටම ඇය හිස වැනුවා. අනුමත නොකරන ආකාරයේ හිස වැනීමක්. එකකට හෝ දෙකකට ඇගේ මිහිරි හිනාවක් සමග නැතැයි කීමක්. ඇත්තටම ගැහැණු මේ තරම් සුන්දර වෙන එක ලෝකෙ මවපු දෙවියන්ගෙ වරදක්. සමහර විට මගේ ඇස් දෙකේ වරද වෙන්නත් පුලුවන්. ඇය දුර්වලයි, ඒ වගේම ශක්තිමත්. ඇය බොහොම ලාලිත්යවත්, ඒත් ඇය දරදඩු වග මම හොදින්ම දන්නවා. මිනිත්තු කිහිපයක කල්පනාවකට පස්සෙ ඇය උත්තර දුන්නා.
"සාමය"
සාමය? මම ඇගෙන් අවසානයටම බලාපොරොත්තු වුණ පිලිතුර. ආදරේ කරද්දි කවදද සාමෙන් ඉන්න පුලුවන් වුණේ.
"ඔව් සාමය විතරමයි! රෑට බ්ලැන්කෙට්ටුවට ගුලි වුණාම ඔයාට සැනසීමෙන් නින්ද නොයනවා නම්, ඔයා ආදරේ ගැන, ප්රේමය ඔයාට මුණගැහුණ එක ගැන පසුතැවිලි වෙනවා නම්, ඔයා ඊලග උදේ බොහොම අමාරුවෙන් නැගිටිද්දි මතක් වෙන පලමුවෙනි දේ ඔයාගෙ ප්රේමයෙ වේදනාව සහ බර නම්, හැම වෙලාවෙම හැංගුණ ගිනි පුපුරක් ඔයාගෙ හදවත පුලුස්සන්න හදන වග දැනෙනවා නම්...
ඔයා ඉන්නෙ ප්රේමය එක්ක යුද්ධයක නම්, ඔයාට දවස ගානෙ සටන්වලින් තුවාල වෙනවා නම්, ඔයාගෙ අනාගත බලාපොරොත්තුව විදියට කිසිම දවසක 'සොල්දාදුවෙක්' වෙන එක තිබිල නැත්තම්, ඔයා ඇත්තටම ඇයි ඒ ජීවිතෙන් පලා නොයන්නෙ?
ඔයාව රිද්දන කිසිම දේකට ඔයාට ලං වෙන්න දෙන්න එපා. විශේෂයෙන්ම ප්රේමයට!
මොකද අපි වෙන කිසිම රිදීමක් වේදනාවක් දරා නොගත්තත් ආදරේ අරන් එන වේදනා ඔක්කොම දරාගන්නවා. අඩු තරමෙ අපිට රිදෙන වග කියන්නවත්, උදව් ඉල්ලල කෑගහන්නවත්, අඩන්නවත් අපි කාලෙ නාස්ති කරන්නෙ නෑ. ඔයා හුගක් පරක්කු වග දැනෙද්දි ඔයා මරණාසන්නයි. අර ගිනි පුපුර ගින්නක් වෙලා ඔයාව සම්පූර්ණයෙන්ම අලු කරලා දාල. ප්රීතිමත් ඔයා වෙනුවට ඉන්නෙ අලු තවරගත්ත අසරණයෙක්.
එදාට ඔයා හොයන් යයි "සාමය". හැබැයි මට ඔයාට ස්ථිරේටම කියන්න පුලුවන්, ඒ වෙද්දි ඔයාට හොයාගන්න පුලුවන් වෙන අන්තිම දේ තමයි සාමය."
ඇය මෘදුව සිනාසෙනවා. සාමයට ආසන්න හැගීමකින් මාව පිරිල යන වග මට දැනෙනවා. නෑ ඒ ප්රීතියවත්, උද්යෝගයවත් , සුන්දර යුවතියකගෙ දසුනක් ඇති කරන ආශ්චර්යවත් නෙවෙයි. මොකක්දෝ මම නාදුනන නිවීමක් . ඔව් ඒ සාමය වෙන්න ඕනෙ!
- චරිතා -